“හට ගැන්ම ස්වභාවය කොට ඇත්තක් වේද..ඒ නැසීම ස්වභාවය කොට ඇත්තේය…”
නිල්වන් ජල ග්‍රහලෝකය….විශ්ව සැරියේ අඳුරු එහෙත් අතුරින් පතර තරු කැට නිවී දිලෙන, ධවල දුමාරයක් බඳු වූ ක්ෂීර පථයේ හමුවන කුඩා සජීවි නවාතැන් පොළ….එයටම ඈතින් ගිනි ගෙන නලියන යෝධ ගෝලයේ දරු පිරිවරෙන් තුන් වැන්නා…අපූර්ව, විෂම, ගොඩබිම් පන්තියක් තුරුළේ හොවා ගත් මාතාව…
ඇගේ ඇරඹුම වර්ෂ බිලියන 4.5 කට පෙර අධික සක්‍රීය කාබනික ධූලියෙන්…ගිනි දිය දෝරේ දමන මහා යමහල්….අනතුරුව සක්‍රීය වායූන් එක්ව තැනූ වායුගෝලය…ජලචක්‍රය….ඉන් පසු මහ වැසි…අහසේ ගුගුරන අකුණු..නයිට්‍රජන් ඩයිඔක්සයිඩ් පසට….යෝධ සමූහ සාගර…”පැන්ජියාව” මතු වීම…වෘක්ෂ ලතාවෝ..ඒක සෛලික සරල අසරණ ජීවය…වර්ධනය…මහාද්වීප තල දෙදරා වෙන්වීම….වැල්ලේ තැබූ යෝධ පිය සටහන්…ලොවක් හෙල්ලූ සද්දන්ත දේහ ධාරීහු….මැකීයාම…කිරි බී වැඩෙන්නෝ….අවසන් අධිපතීන්ගේ මී මුත්තන් ගසෙන් බැසීම….
හට ගැන්ම ගැන ඔබ සැම දන්නා කථා වස්තුව එපරිද්දෙනි…එහෙත් නැසීමේ ස්වභාවය කෙබඳුද?…මේ පිළිබඳව ලොව විවිධ සංස්කෘතීන්, දර්ශණ වාද, ආගම්, විද්‍යාත්මක පරීක්ෂණ, කරන ලද පුරෝකථනයන් අප්‍රමාණය….
එනමුත් මේ නොදන්නා, නොපෙනෙන අනාගතය ගැන ආගමික ශාස්තෘන් පැවැසූ දෙය ඉහත දර්ශණ වාදී පසෙහි කොටසක් ලෙස කඩා ඔබ හමුවේ ගෙන හැර දක්වමි. ඉන් සමහරක සටහන් වනුයේ මිහිමත ඇතිවන බිහිසුණු විනාශයන් වැලක් මතුයෙහි තමන් වහන්සේ ගේ පුනරාගමනයෙන් සියල්ල අවසාන වන බවයි…
උදා:
ජෙරුසලම බහුවිධ ජාතීන්ට අයත් හමුදාවන් විසින් අවරෝධනය කරනු ලැබූ දිනෙක ඇතිවන “ආමගෙඩෝන්” (Armageddon) මහ සටනේ යහපතට ජය ගෙනෙන්නට ජේසු සමිඳාණෝ කරන පුනරාගමනයෙන් ලෝකාවසානයද, ඉක්බිති විනිශ්චයද ඇරඹෙති…(Apocalypse, the book of revelation)…
හින්දු දහමේ භගවත් ගීතාවෙහි 8:17 අනුව “නපුර, අධර්මය ලොව රජය කල්හී ශ්‍රී විෂ්ණුගේ දශ වැනි අවතාරය වන “කල්කී” (Kalki) අවතාරය කලියුගයේ කෙළවර උල්කාවක් සේ දිලිසෙන අසිපතක් දරා ධවල අශ්වයෙකු පිට නැග අයෝධ්‍යා නුවර දොරටුවෙහි දිස්ව, නපුර වනසා, කල්පය නිමා කොට, යහපත රජයන ලොවක් යළි නිර්මාණය කරනු ඇත”….
මේ සියලු පෙරැයීම් වල හා භෞතික ගතිකයන්ගේ හෙවත් එදිනෙදා මිනිසා ඇතුළු ජීවීන්ට විඳින්නට ලැබෙන ලෝක ධාතුවෙහි යම් කිසි නොගැලපීමක් ඇති බව අමුතුවෙන් කිවයුතු නැතැයි සිතමි..එහෙත් අප ඒ ආගමික මතවාද හුදු මුසාවන් සහ අසත්‍යයන් ලෙස සළකා ඒවාට නින්දා, අපහාස කරන්නට පෙළැඹිය යුතු නැත…ලෝකයම එක පවුළක ලෙස සිට මරණයට මුහුණ දිය යුතු මොහොතක් සමීපයෙහිම පැමිණෙතොත්, එදාට අප මහත් අවිදග්ධ ලෙස කල කිසිදු වාද විවාදයක ඵලක් නොමැති බව මිනිසුන්ට වැටහී යනු ඇත…
එබඳු දිනයක් නුදුරේදීම එනවාද? එය කල්ප විනාශයද? කල්ප විනාශය සම්මා සම්බුදු ඇසින් කෙබඳුද?….
මෙම ලිපියේ අරමුණ වන්නේ බුදු ඇස සහ විදු ඇස දකින “ගෝලීය ඝාතක” අන්තරායන් (Global Killers) ගැන විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමයි..ඉහත කී ආගමික ලෝකාවසාන මතවාද තිබේවා, සම්මා සම්බුදු ඇසින් දුටු කල්ප විනාශය කෙතරම් විද්‍යානුකූලදැයි දන්නේ නම් ඔබේ රෝම කූප කෙළින් සිටුවීමට එයම ප්‍රමාණවත්ය….
….මායා…..
ලොව ශිෂ්ඨාචාර ප්‍රධාන ප්‍රභේදකරණයට අනුව “මෙසො-ඇමරිකානු” හෙවත් මධ්‍යම ඇමරිකානු කළාපික ශිෂ්ඨාචාරයන් අතර ඉතාම සංකීර්ණ හා විදාරණය වූ ශිෂ්ඨාචාරයකි, “මායා” වරුන්ගේ ශිෂ්ඨාචාරය. මොවුන්ගේ පූර්වාරම්භය පිළිබඳව ඓතිහාසික සාධක මුල් වරට හමුවන්නේ මෙක්සිකෝවේ “චියාපාස්” සහ “තබාකෝ”, ග්වාතමාලා දේශයෙහි, බෙලීස් හි කරන ලද කැණීම් වලිනි. කාබනික කාළ නිර්ණය අනුව මේ පුරා විද්‍යාත්මක සාධක ක්‍රිස්තු පූර්ව 2600 තෙක් දිවෙන අතර, වයසින් සහ තත් කාලීන නිර්මාණශීලීත්වයෙන් අපගේ “සිංහල ශිෂ්ඨාචාරය පවා අබිබවා යා හැකි තරම් දිගු, ගෘහ නිර්මාණයෙන් පොහොසත් ඉතිහාසයක් ඔවුන් සතුව පැවතිණි.
එතරම් ඈත කාළයේදී පවා මායා වැසියන්ට අකාශ වස්තු නිරීක්ෂණාගාර (Observatories) තිබූ අතර, එම ශිෂ්ඨාචාරය සහ ඊට නෑකම් කියන “ඇස්ටෙක්”, “ඉන්කා” ආදී අනෙකුත් ලතින් ශිෂ්ඨාචාරවල පොදු ලකුණක් වන “ආකාශ වස්තු වන්දනාව” කෙරෙහි ඔවුන් දැක්වූ උනන්දුව ඉන් පිළිඹිබු කෙරේ..මායා ගෝත්‍රිකයන්ට සෞර ග්‍රහ මණ්ඩලය පමණක් නොව විශ්වයේ ඇසි දිසි චක්‍රාවාට ගැන තිබූ දැනුම වත්මන් නාසා (NASA) විදුදරයන්ද මවිත කරවන තරම් තාක්ෂණික වශයෙන් නිවැරදිය. නෙබියුලාවක් (Nebula) යනු තාරකා අතර පවත්නා, අයණීයතාවයෙන් ඉහළ හීලියම්, හයිඩ්‍රජන් ආදී වායූන්ගෙන් සමන්විත, දැවැන්ත තාරුක වලාවන්ය..යථා කාලීනව මේ නෙබියුලා තුල වායූ ප්‍රතික්‍රියාවන්ගෙන් තාරුකාද, ඒ ඇසුරේ ග්‍රහ පන්තිද, ක්‍රමානුකූලව ජීවයද හට ගනී..මෙවැනි යෝධ නෙබියුලා අතර අපට දීප්තිමත්වම පෙනෙන්නාවූ “ඔරායන් නෙබියුලාව” (Orion Nebula) මායා වරුන් දුරේක්ෂය සොයා ගන්නටත් පෙර සිටම දැක තිබීම, ඔවුන්ගේ ආකාශ වස්තු විද්‍යාවේ අනර්ඝ බව මොනවට කියා පායි….
සියළු ලතින් ඇමරිකානු ආදී වාසී ශිෂ්ඨාචාරයන්ට සමපාතව මායන් වරුන්ගේද ප්‍රධාන දෙවියා වූයේ සූර්යයාය…ඉන්කා ගෝත්‍රිකයන් “පැච්ච කාමක්” යනුවෙන් හැඳින්වූ හිරු දෙවි මායන් වරුන් හැඳින්වූයේ “කීනිච් අහාව්” යන නමිනි. හිරු දෙවි මොවුන්ට කෙතරම් වැදගත් වූවාද කිවහොත් හිරු ගේ ගමන් චක්‍ර පිළිබඳව මොවුහු කදිම නිරීක්ෂණයන් තබා ගත්තෝ වෙති.
….චන්ද්‍ර සූර්යා ඉපදුණ…..
මෙක්සිකෝවේ “නිව් මෙක්සිකෝ සිටි” අගනගරයෙන් කිලෝමීටර 54ක් ඊශාන දෙසට වන්නට දැවැන්ත පෞරාණික නටබුන් නගරයක් ඇති. මෙක්සිකානු ජාතික ලියෝපෝල්ඩෝ බැට්‍රෙස් විසින් 1905 දී මුල් වරට කැණීම් සඳහා ගිය සංචාරයකදී සොයා ගනු ලැබූ මේ නෂ්ඨාවශේෂ සහිත වල් බිහි වුණු නුවර අනෙකක් නොව මායා වරුන්ගේ මහා අගනගරයක් වූ “ටියෝතිහූයාකාන්” නගරය බව 1910 පමණ වන විට එහි හමු වූ දෑ අනුව නිර්ණය කරන ලදී. වඩාත් වැදගත් වනුයේ මෙහි ඇති මායන් වරුන් ගොඩ නැඟූ “චන්ද්‍ර-සූර්ය” පිරමිඩ යුග්මයයි…චන්ද්‍ර පිරමිඩය අසළින් ඉදිකොට ඇති, එයට වඩා අතිශයින් විශාල සූර්ය පිරමිඩය උසින් මීටර් 71ක් පමණද, දිගින් මීටර් 220 ක් පමණද වන අතර එය විශාලත්වයෙන් තෙවැනි වන්නේ ඊජිප්තුවේ “කියොප්ස්” පිරමිඩයට හා මෙක්සිකෝවේම “කොලූලා” පිරමිඩයට පමණි..(මේ සූර්ය පිරමිඩය නැරඹීමට ලබන වසරේ යාමට මෙම ලිපියේ රචකයා බලාපොරොත්තු වෙයි )..
අප සැම මේ භාවිතා කරනුයේ 13 වැනි ග්‍රෙගරි පාප් වහන්සේ විසින් සංස්කරණය කරන ලද බටහිර “ග්‍රෙගෝරියන්”(Gregorian) කැලැන්ඩරයයි..එනමුත් උක්ථ පිරමිඩය තුළ තිබී වත්මන් දින 365 කැලැන්ඩරයට සමාන දින 365 කින් හෙබි “හාබ්”නම් (Haab) කැලැන්ඩරයක් සහ දින 260 කින් යුත් “සොල්කින්” (Tzolkin) නම් (මෙය මානවිකාවන්ගේ ගැබ් ගැනීම සහ ගැබ් දැරීම යන කාළ රාමු මත පදනම් වූ කැලැන්ඩරයකි – based on periods of human gestation) මායානු කැලැන්ඩරයද හමුවී ඇති අතර අකාශ වස්තු විශේෂ්ඥයන් පවසන අන්දමට මේ “හාබ්” (365 days) කැලැන්ඩරයේ පෘත්වි හා සූර්ය කාළ ගණනය අපගේ ග්‍රෙගෝරියානු කැලැන්ඩරයද ඉක්මවා යන තරම් නිරව්ද්‍යය.
හිරු වඩිනා….
මායාවරුන්ගේ අහස් නිරීක්ෂණ පිළිබඳව විශේෂඥ ස්වීඩිෂ් ජාතික ජෝෂ් ආගියුලේස් පවසන අන්දමට මෙම කැලැන්ඩරයේ වර්ෂ ගණනය පහත බඳුය. මෙය එම කැලැන්ඩරයේ “දීර්ඝ කාල ගණනය” (Long time count concept) නම් සංකල්පය මත යෙදෙයි.මෙම කාල ගණන සංකල්පය ද සූර්යයා අහසේ දකින ආනතිය අනුව ගොඩ නගා ගත් “චක්‍ර” රටාවක් අනුව සැකසී ඇත.
ඒ අනුව,
දින 360ක් – ටුන් 1 (360 days – 1 Tun)
ටුන් 20ක් – කටුන් 1 (20 Tuns – 1 Katun)
කටුන් 20ක් – භක්ටුන් 1 (20 Katuns – 1 Bhaktun)
භක්ටුන් 13ක් – මහා චක්‍රයක් හෙවත් වර්ෂ 5125 (දින දහ අට ලක්ෂ හැත්තෑ දෙදහසයි ) (13 Bhaktuns – 1 Great Cycle)
දැන් අපි මහාචාර්ය පීටර් ලිම්බර්ගේ අදහසට යොමු වෙමු.
(මෙම මහාචාර්ය තුමන් විද්යුත් තැපෑලෙන් සම්බන්ධ කර ගැනීමේ පින මෙම ලිපියේ රචකයාට පෑදුණු බව ඉමහත් ප්‍රීතියෙන් යුතුව දැනුම් දෙමි. මේ පිළිබඳව එතුමා සපයා දුන් දුර්ලභ ගණයේ තොරතුරු වෙනුවෙන් එතුමාට ශීර්ෂ ප්‍රණාමය පුද කර, දීර්ඝායුෂ හා තෙරුවන් සරණ පතමි )
” මායා වරුන් ගේ මේ දැන් පවතින මහා චක්‍රයේ ආරම්භක ගණනය තබා තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 3114 හි අගෝස්තු මාසයේ 11 වැනිදට… ඇත්ත, ඒ කාලේ අගෝස්තු මාසයක් කියලා එකක් තිබුනේ නෑ..නමුත් අපි ග්‍රෙගොරියන් කැලැන්ඩරය එක්ක මේක සමපාත කරොත් අපට ලැබෙන දිනය ඒකයි..එහෙනම් පුතා, දැන් ඔබ මගෙන් ඇසුව 2012 මායන් වරුන්ට වැදගත් වුනේ ඇයි කියන ගැටළුවට පිළිතුරු ලැබිලා ඇති…11-08-3114 ඉඳලා “මහා චක්‍රයක්” ඉදිරියට ගණන් කළාම ලැබෙන්නේ 21-12-2012 දිනය….ඒත් මම හිතනවා ඔබට හුඟක්ම වැදගත් වෙන පුවත ඕක නෙමෙයි…මේ වගේ මහා චක්‍ර රාශියක් (A collection of Great cycles) ක්‍රියාත්මක වෙලා එන “සන්ධිස්ථාන චක්‍රාවසනායකදී” හිරු තමන්ගේ මතුපිටින් නෙරුම් (prominences) ස්වභාවයෙන් යෝධ අයස්කාන්ත ශක්තියක් (Gigantic magnetic field of energy) මුදා හරින බවට ඔවුන් විශ්වාස කරනවා..මේක ඔවුන් විතරක් කරන විශ්වාසයක් නොවෙයි…ඊජිප්තුවේ පිරමිඩ තුළ ඇති චිත්‍ර වලිනුත්,අග්නිදිග ආසියාවේ චීනය, කොරියාව, මැලේසියාව, ඒ වගේම අප්‍රිකාවේ ඇතැම් ශිෂ්ඨාචාර වල හමු වුනු සාධක වලිනුත්, මායන් වරුන් කළ මේ විශ්වාසයට බොහෝ දුරට සමාන විශ්වාසයන්, එනම් හිරුගෙන් එන මහා කිරණ කදම්භයක් ගැන විශ්වාසයන් අපට හමු වෙලා තියෙනවා….ඇත්ත…”සූර්ය ලෙළසිළු” (Solar flares) අමුතු දෙයක් නොවේ…ඔබත් ඔය “ඩිස්කවරි” චැනලය එහෙම බලන කොට අපේ කාළයේදීත් ආපු සූර්ය ලෙළසිළු ගැන ඕනෑ තරම් වාර්තා වැඩසටහන් දැක ඇති…නමුත් මේ මායන් වරුන් කියන සූර්ය සිළුව ඒ තරම් සුළු එකක් නෙමෙයි…මෙය හිරුගේ අපට පෙනෙන පැත්තේ සම්පූර්ණ ගෝලාර්ධයෙන්ම විදාරණය වෙලා එන එකක්…කොටින්ම කියතොත් සර්පයෙක් “හැව” අරිනවා වගේ හිරු තම කවරය මුදා හරිනවා කියලා ඉතාම සරලව ඔබට පැහැදිලි කර දෙන්න පුළුවන්…ඒ මහා සූර්ය සිළුව (Super Solar storm or “Perfect Solar Storm”) 2012 දෙසැම්බර් 21 උදෑසන 11:11 ට මුදා හැරෙන බවක් අපට ඒ අයගේ ගණනයන් අපේ කැලැන්ඩර කාල සමඟ සමපාත කරාම දැන ගන්නට ලැබෙනවා…..මධ්‍ය ඇමරිකානු ශිෂ්ඨාචාර අතුරින් මායන් විශේෂඥයෙක් හැටියට මට ඔබ වැනි ගවේෂක දරුවන්ට (Expeditious Kids – කාටද ආඩම්බර?) දෙන්න තියෙන උපදෙස් එපමණයි…නමුත් ඔය ගැන ඔබට තාරකා විද්‍යාඥයන්ගේ අදහස දැන ගන්නම වෙනවා…මම ඔබට මේ සමඟ නාසා ආයතනයේ සිටින මගේ මිතුරෙකු සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය තොරතුරු එවනවා…ඔය ලිපියට පුතා එකතු කරන්න යන බුදු දහම සම්බන්ධ කොටස මට එවනවා නම් මම බෙහෙවින්ම අගය කරනවා….” (මේ වන විටත් එම කොටස ඉංග්‍රීසියට හරවා එතුමාට යවන්නට කටයුතු කර ඇත්තෙමි..බුදු දහමේ එම ඉගැන්වීම් කොටස ගැන තම සිසු, සිසුවියන්ද දැනුවත් කරන බව එතුමා පිළිතුරු ලෙස දන්වා එවා ඇත…)
වඩාත්ම වැදගත් වන්නේ ඉහත ඡේදයේ අවසන් වගන්ති කිහිපයයි…..!!!!!!!!
මායානු ගණනයන්ට අනුව වර්ෂ 2012 දෙසැම්බර් 21 උදෑසන 11:11 ට සූර්යයා ක්ෂීරපථ සමකයට (Milky way`s Galactic Equator) සමපාත වේ, නොහොත් මායානු බසින්ම කියතොත් “හුනාබ්කු” (Hunabku) වෙත ළඟා වේ…
…කිරණ සලා මිහි මඬල දොවා……
සූර්ය ලෙළසිළු (Solar flare)යනු කුමක්ද? මේ ප්‍රශ්ණයට පිළිතුරු ඇමරිකා එක්සත් ජනපදයේ National Aeronautics and Space Administration හෙවත් “නාසා” (NASA) ආයතනයේ ආචාර්ය ටෝනි ෆිලිප්ස් ලබා දුන් තොරතුරු මත මේ අයුරින් සැකෙවින් දැක්විය හැක…
සූර්ය වායුගෝලය ස්ථර තුනකින් සමන්විතය..ඒවා නම් “ප්‍රභාගෝලය” (Photosphere), “අංශු රශ්මි මාලාව නොහොත් රැස් වළල්ල”(Corona) , “වර්ණගෝලය” (Chromosphere) යනුවෙනි..හිරුගේ අතිශය ශක්තිමත් චුම්භක ක්ෂේත්‍ර (Magnetic fields) එක්වී යෝධ චුම්භක ආරුක්කු (Giant Magnetic Arcades) නිර්මාණය කරයි…එනමුත් ඇතැම් ක්ෂේත්‍රයන්, විශේෂයෙන්ම හිරුට බාහිරින් එන චුම්භක බලපෑම් නිසා ඇතිවන ක්ෂේත්‍රයන් එවැනි ආරුක්කු හා සම්බන්ධ නොවී හෙලික්සාකාරයෙන් (Isolated Helixes) හුදකළාව නැගී සිටියි…සූර්ය ලෙළසිළු හටගන්නේ එවැනි “හිතුවක්කාර” ක්ෂේත්‍රයන් එක්වර එහි ඉලෙක්ට්‍රොන, නියුට්‍රෝන, ප්‍රෝටෝන ආදි වශයෙන්එකවර ඉහත කී ස්ථර තුනටම අබිභවා ක්ෂණිකව අවකාශයට විදාරණය වීමකිනි…මෙයින් පිටවන ශක්ති කදම්භය ආලෝකයේ වේගයෙන් විස්ථාපනය වේ..
වඩාත් වැදගත් කරුණ වන්නේ එය නොවේ…මෙවැනි එක් සාමාන්‍ය සූර්ය ලෙළසිළුවක (Normal Solar flare) ශක්තිය, ශක්ති ඒකක (ජූල්) 6×10 යේ 25 බලය තරම් වන බව ගණනය කොට ඇත..එය මෙගාටොන් 100යේ හයිඩ්‍රජන් බෝම්බ මිලියන 40ක් එකවර පුපුරා යන තරමේ ශක්තියක් මුදා හැරීමකි….!!!! (හයිඩ්‍රජන් බෝම්බය මානව සංහතිය සතු බිහිසුණුම සමූල ඝාතක අවියයි. එය ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව සතු වන අතර එහි එක් පහරකින් “අරය” කිලෝමීටර 100ක් පමණ වන වෘත්තයක් තුළ බිහිසුණු විනාශයක් කළ හැක.. )..මෙම ශක්තිය සමස්ථ විද්යුත් චුම්භක වර්ණාවලියෙන්ම (Full Electromagnetic Spectrum), x-කිරණ සිට ගැමා-කිරණ තෙක් සියළු “තරංග ආයාමයන්ගෙන්” මුදා හැරෙන අතර එය නිරීක්ෂකයන්ට ඉතා භයංකර සුන්දරත්වයක් මවා පායි….(ස්කැන්ඩිනේවියානු කළාපයේ දකින්නට ලැබෙන්න “ඌෂාලෝක” (Aurora) රටා ගැන සිතා බලන්න…)
මෙවැනි හිරු ලෙළසිළු අතිශය සක්‍රීය කළාප වන “සූර්ය ලප” (Great Sun spots) ආශ්‍රිතව බහුලව හට ගන්නා අතර, මුල්වරට සූර්ය ලෙලසිළු පිළිබඳව ඔබ අප දන්නා විද්‍යා ඉතිහාසයේ සටහනක් තැබුවේ 1859 දී හිරු ලප පිළිබඳව තම දුරේක්ෂයෙන් ගවේෂණය කරමින් සිටි ශ්‍රීමත් රිචඩ් ක්‍රිස්ටෝෆර් කැරින්ග්ටන් (Sir Richard Christopher Carrington) නම් විද්වතා විසිනි…නමුත් දිගටම මේ ලිපිය කියවාගෙන යන්න…සූර්ය ලෙළසිළු ගැන මුල් වරට ලොවට හෙළි කලේ කවුරුන්දැයි ඔබට වැටහෙනු ඇත….
දැන් නැවතත් “හුනාබ්කු” සිද්ධාන්තය දෙසට හැරෙන්න…සූර්ය ගමණයේදී හිරු මුහුණ දෙන අතිශයින් බලසම්පන්නම ගුරුත්ව ශක්ති කේන්ද්‍රය හමුවන්නේ ඉහත සඳහන් මන්දාකිණි නිරක්ෂය හා සමපාත වන විටය…(කේන්ද්‍රිකව ගුරුත්ව බලය සහ චුම්භාකර්ෂණ බලය එහි උපරිමයට පැමිණීම විශ්ව න්‍යායකි )..මේ මොහොතේදී හිරු අභ්‍යන්තරයේ සියළු චුම්භක ක්ෂේත්‍ර අවුල් ජාලාවකට පත්විය හැකි අතර ඒවා ඉතා වේගයෙන් වෙනත් ක්ෂේත්‍ර හා යථා සම්බන්ධව යෝධ ආරුක්කු සෑදීමටත්, එසේ සම්බන්ධ නොවන හෙලික්ස පෙර කවර කළකවත් නොවූ විටූ තරම් පතාක ශක්තියෙන් අවට විශ්වයට විදාරණය වී යා හැක…ඇතැම් විටක ඒවා පතාක සූර්ය කුණාටුවක් තරම් දුර දිග යාමටද හැකිය….(Super solar storm or perhaps a Solar maxima!!!)
“නාසා”ගෙන් අසා ගත් වග නම්…..
නාසා ආයතනයේ ඉන්දීය ජාතික මහැදුරෙකු වන දික්පති මහතා මේ තත්වය සිදුවිය හැක්කක් ලෙස දකී….එමෙන්ම ඔහුට අනුව 2010 න් පසුව ඕනෑම දිනක එළැඹිය හැකි මේ මහා සූර්ය කුණාටුව මේ අයුරින්ද සිදුවිය හැක….
“හිරු ගේ මියැදුණු හිරු ලප හෙවත් අක්‍රීය චුම්භක ක්ෂේත්‍රයන් ක්‍රමයෙන් හිරු මත ඇති මහා ගුරුත්ව පටියක් මඟින් සූර්ය කේන්ද්‍රය අසළට ඇදීමත්, එමඟින් ප්‍රතිස්ථාපනය කෙරුණු ක්ෂේත්‍ර යළි මතු පිට පැමිණීමත් කියන අඛණ්ඩ ක්‍රියාවලියක් සිදු කෙරෙනවා…මේ විදියට බලපුවාම ඉතා ආසන්නයේ එන දැවැන්ත ප්‍රතිස්ථාපනයක් ගැන අපට කියන්න පුළුවන්..මොකද, 1986-1996 කාළයේදී මේ පටි ඉතා වේගයෙන් ක්‍රියාත්මක උනා….එහෙනම් ඒවායෙන් ප්‍රතිස්ථාපනය කරපු අතිශය ශක්තිමත් හිරු ලප 2010-2012 වගේ වෙන විට එළියට මතු වෙන්නත් පුළුවන්…එවිට ඒවායෙන් මහා ශක්තියක් මුදා හැරිලා සූර්ය කුණාටුවක් එන එක මුසාවක් නම් නෙමෙයි…මේක කොයි විදියටත් වෙන්න පුළුවන්…එක්කෝ මේ විදියට…නැතනම් මායන් වරුන් කියපු විදියට…කොයි විදියට උනත් හිරු දැන් අසාමාන්‍ය ලෙස නිහඬව ඉන්නවා…මේ නිහැඬියාව කුණාටුවකට පෙර තිබෙන භයංකර නිහැඬියාව හා සමානයි….”
නාසා ආයතනයේම ජ්‍යේෂ්ඨ විදුදර ඩේවිඩ් හාතාවෙයි මහතාගේ අතිශයින් ජනප්‍රිය “හාතාවේ සිද්ධාන්තය” ඊට නුදුරේ අදහසක් පළ කරයි….
“23 වැනි සූර්ය චක්‍රය එක්කෝ නිමා වෙලා…නැති නම් එය 24 චක්‍රයත් සමඟ හවුලේ ක්‍රියාත්මක වෙනවා….කෙසේ වෙතත් 24 වැනි චක්‍රය දැන් ඇරඹී තිබීම නිසා චක්‍ර මාරුවේ හිරු උච්ඡය (“Solar Maxima”) නම් බලාපොරොත්තු වෙන්න බැරි කමක් නෑ….”
….අහස නුඹ මෙතරම් සැඩ යැයි……
මෙවැනි ප්‍රභා වළල්ලෙන් මහා පදාර්ථ ශක්ති මුදා හැරීමකදී (Coronal Mass Ejection) හිලීයම්, ඔක්සිජන් සහ ලෝහ සහිත ප්ලාස්මාවක් ශීඝ්‍රයෙන් විස්ථාපනය වන තරංගයක් ආකාරයෙන් සෞර ග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරයි…මේවා පෘථ්වි වායුගෝලයට ළඟා වන විට ඒවායේ “පිකෝමීටර” (පිකෝමීටරයක් යනු මෙට්‍රික් ක්‍රමයට මීටරයකින් ට්‍රිලියනයකින් එක් කොටසකි ) x-කිරණ වළ ශක්තියට අනුව ඛාණ්ඩ 5 කට නාසා ආයතනය විසින් බෙදා වෙන් කර ඇත. ඒ ඛාණ්ඩ නම් A,B,C,M, X යනාදි වශයෙනි…
දැන් මම ඔබේ අවධානය මෙවැනි මහා සූර්ය කුණාටුවකින් සිදුවිය හැකි විනාශය කෙරෙහි යොමු කරමි….ඒ සඳහා මීට පෙර පැමිණි සැළකිය යුතු මට්ටමේ විශාල සූර්ය ලෙළසිළු නිසා සිදු වූ විනාශය ගැන යම් හැඳින්වීමක් කළ යුතුමය…
මෙතෙක් සොයා ගත් චණ්ඩම හිරු කුණාටුව ශ්‍රීමත් කැරින්ග්ටන් විසින් 1859 දී දක්නා ලද හිරු කුණාටුවයි…ඒ ඇසුරින් ජපාන අකාශ වස්තු නිරීක්ෂණාගාර සහ “නිව් සයන්ටිස්ට්” සඟරාව එක්ව මෙබඳු අනාවැකි පළ කොට ඇත…
“ඇත්ත වශයෙන්ම සාමාන්‍ය හිරු ලෙළසිළුවකට වඩා සිය ගුණයක් ශක්තිමත් “මෙගා” සිලුවක් (Mega Solar flare) පැමිණියොත් අප අවට කක්ෂ ගත කර තිබෙන පණිවිඩ චන්ද්‍රිකා සියල්ල පිලිස්සී යා හැකියි…ඒ නිසා ගෝලීයව සන්නිවේදනය සහ මුලින්ම අඩාල වී හැකියි…එයට අමතරව අළුත් බලාගාර, න්‍යෂ්ඨික බලාගාර ඇණ හිටීම නිසා බිලියන ගණනකට විදුලි බලය ඇණ හිටීවි…එහෙම වෙන්නේ මාස ගාණකට…එතකොට ඉස්පිරිතාල වලට මොකද වෙන්නේ?…දැඩි සත්කාර ඒකක?…ශල්‍යාගාර?…..ලක්ෂ ගණනක් ප්‍රතිකාර නැතුව මිය යාවි…ගුවන් තොටුපළවල් වල සියළු ඩිජිටල් අංගෝපාංග කිර්යා විරහිත වෙයි එකවර…එවිට ඒ මොහොතේ අහසේ තිබෙන ගුවන් යානා වලද සියළු විද්යුත් පද්ධති ඇණ හිටීවි..ඒ අයට දෙයියන්ගෙම පිහිටයි…එතකොට උමං දුම් රිය මාර්ග වල පරිඝණක පද්ධති?…අනතුරු වලින්ම පැය 24ක් ඇතුළත ලොව පුරා ලක්ෂ ගාණක් මිය යාවි…..ලෝකය යථා තත්වයට ගන්න වසර ගාණක් ගත වෙයි….ජීවිත හා ආර්ථික හානිය ගණන් බලන්න බැරි වෙයි…”
මේ සාමාන්‍ය සිළුවක් මෙන් සිය ගුණයක් බලවත් මෙගා සූර්ය ලෙළසිළුවක් පෘථ්වියට ලඟා වුවහොත් සිදුවිය හැකි දේයි….
එනමුත් අප කථා කරන්නේ සාමාන්‍ය සූර්ය ලෙළසිළුවක් මෙන් මිලියන ගුණයක් පමණ විය හැකි, තවමත් ශක්ති ගණනයක් වත් කරන්නට නොහැකි මහා සූර්ය කුණාටුවක් පිළිබඳවය……
“මහ පොළවේ ඇති පදාර්ථයෙන් නිමැවුණු සෑම දෙයක්ම ක්ෂණිකව ගිනි ගෙන දැවී අළු වී යාවී…සප්ත මහා සාගර වල ජලය මිනිත්තු ගණනකින් වාෂ්ප බවට පත්ව සිඳී යාවී….ඕසෝන් වියන අහෝසි වෙන්න වැඩි වෙලාවක් යන එකක් නෑ….ඉතාම චණ්ඩ පාර ජම්බුල කිරණ මහ පොළව විනිවිද මීටර සිය ගණනක් යටට කා වැදෙයි…මුළු ලෝකයේම පස යළිත් කිසිදු ඵ්ලයක් හට නොගන්නා ලෙස නිසරු වෙයි…ඇතැමි විටක ඒ හිරු කිරණ මැග්මා කුටීරය තෙක් විදාරණය වුවහොත් පෘතුවි අභ්‍යන්තරයේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාවි…මෙවිට ඇතිවන ලාවා ප්‍රසාරණයන් අප ලෝක ඉතිහාසයේ කවර කළකවත් අසා නැති දැවැන්ත යමහල් පිපුරුම් ලෙස මිහි මතුපිටට ගලා ඒවි…පෘතුවි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000+ පමණ වෙයි…..අනතුරුව පෘතුවිය ජීවය රහිත ගිනියම් ශිලා ගෝලයක් ලෙස විශ්වයේ සිට බලන්නෙකුට පෙනෙයි….”
…සත්ත සූරියග්ගමන……
නාසා හි හබල් දුරේක්ෂය කක්ෂ ගත කළ අයගේ මුතුන් මිත්තන් ගඩා ගෙඩි කන්නටත් බොහෝ කළකට පෙර දඹදිව වේශාලියේ, අම්බපාලිය විසින් පිදූ උයනේ මහා “විශ්ව සියපත” සිය අනුගාමීන් බණවා “සත්ත සූරියග්ගමන සූත්‍රය” දෙසා වදාළ සේක….අංගුත්තර නිකායේ, සත්තක නිපාතයේ, මහා වග්ගයෙහි එන සත්ත සූරියග්ගමන සූත්‍රයෙහි මනු කුළ කිරීටයාණෝ මෙසේ දෙසති….
“මහණෙනි…හේතුඵල සියල්ලගෙන්ම හට ගත් දෑ අනිත්‍යයයි….ඒ කිසිවක සැනසීමක් නැත….මේ නිසා මහණෙනි.. වැදගත් වන්නේ ඒ සියල්ල කෙරෙහි අවබෝධයෙන් කළ කිරීමයි…නො ඇලී සිටීමයි (අලං විරජ්ජිතුං) …අවසානයේ විමුක්තිය උදා කර ගැනීමයි…( විමුච්චිතුං)
“මහණෙනි…හිරුගේ රශ්මි කදම්භය නිසා අවුරුදු ලක්ෂ ගණනකට වැස්ස නොලැබෙන කාලයක් එනවා…මෙලොව ඇති සියළු ශාඛ වර්ග ඉන් මැරී යනවා….සියළු සංස්කාරයෝද මෙපරිද්දෙනි…අස්ථීරය…සහනයක් නැත…අවබෝධයෙන්ම කළ කිරෙන්න…නො ඇලී සිටින්න…මිදීම ලබන්න….” (පළමු සූර්යයා)
“මහණෙන්, දෙවැනි සූර්යයෙකුත් පායනවා…කුඩා පරිමාණයේ ජලාශ සිඳී යනවා…ජලය නැති වෙනවා….යළු සංස්කාරයෝද මෙපරිද්දෙනි…අස්ථීරය…සහනයක් නැත…අවබෝධයෙන්ම කළ කිරෙන්න…නො ඇලී සිටින්න…මිදීම ලබන්න….”(දෙවැනි සූර්යයා )
“මහණෙනි…තෙවැනි හිරු එන විට සියළු මහා ගංගාවල් සිඳී යනවා…(බුද්ධ කාළයේ උදාහරණ ලෙස : ගංගා, යමුනා, සරභූ, අචිරවතී යනාදි වශයෙන් )…සියළු සංස්කාරයෝද මෙපරිද්දෙනි…අස්ථීරය…සහනයක් නැත…අවබෝධයෙන්ම කළ කිරෙන්න…නො ඇලී සිටින්න…මිදීම ලබන්න….” (තුන්වන සූර්යයා )
“මහණෙනි…සතර වැනි හිරු පායන විට මහා ගංගා හටගත් මහා විල් සියල්ල සිඳී යනවා…(බුද්ධ කාළයේ උදාහරණ ලෙස : අනෝථප්ත, සීහාපාත, රථාකාර, ඛණ්නමුන්ඩ, කුණාල, ඡුදන්ත, මන්දාකිනි ආදි වශයෙන් )….සියළු සංස්කාරයෝද මෙපරිද්දෙනි…අස්ථීරය…සහනයක් නැත…අවබෝධයෙන්ම කළ කිරෙන්න…නො ඇලී සිටින්න…මිදීම ලබන්න….” (සිවුවැනි සූර්යයා )
“මහණෙනි…පස්වැනි හිරු රශ්මියට මහා සාගර වියැළී යනවා…වැසි මොහොතක මඩ සහිත පොලවක ගවයෙකුගේ කුරයෙන් හෑරුණු වළක දිය බිඳක් රඳන්නේ යම් සේද, මහා සාගරයන්ගේ එතරම් කුඩා දිය බිඳිති තැන, තැන ඉතිරි වී අනතුරුව ඒද වියැළී යයි…..සියළු සංස්කාරයෝද මෙපරිද්දෙනි…අස්ථීරය…සහනයක් නැත…අවබෝධයෙන්ම කළ කිරෙන්න…නො ඇලී සිටින්න…මිදීම ලබන්න….” (මේ මොහොතේදී පෘතුවි ග්‍රහයා මත ජලය සහමුලින්ම අවසාන වේ) (පස් වැනි සූර්යයා )
“මහණෙනි….සය වැනි සූර්ය උදාවේදී සිනේරු නම් මහා පර්වතය ඇතුලු මේ සකල පෘතුවි අභ්‍යන්තරයේ උෂ්ණත්වය වැඩි වෙනවා…එයින් දුම් දමන්නට පටන් ගන්නවා…භූ කුහරයේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යනවා…එයින් යමහල් පුපුරා ලාවා ගිනි දෝරේ ගලනවා..(විදු ඇසින්: මේ දේශනා කරන්නේ “මැග්මා” (Magma) කුටීරය ගැනයි…හිරුගේ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික (Positively correlated to temperature of the Atmosphere) ලෙස එහි උෂ්ණත්වයද ඉහළ නඟී…එවිට ලාවා කුටීර ස්ඵෝටනය වී මහා යමහල් (Great Volcanic eruptions) ලෙස පුපුරා පොළව මතුපිටට ගලා එයි..එයින් නිකුත් වෙන අයණික විෂ වායූන්ගෙන් වාගෝලය පිරී යයි…විෂ වායූන්ගෙන් වා ගෝලය පිරෙනවා….සියළු සංස්කාරයෝද මෙපරිද්දෙනි…අස්ථීරය…සහනයක් නැත…අවබෝධයෙන්ම කළ කිරෙන්න…නො ඇලී සිටින්න…මිදීම ලබන්න….” (සය වැනි සූර්යයා )
“මහණෙනි…සත් වැනි හිරු කිරණ සමඟ දුමාරයෙන් වෙලී තිබුණු පෘතුවිය ගිනි ගෙන ඇවිලෙන්නට පටන් ගන්නවා…සිනේරු ආදී වූ මහා පර්වතයෝ කැබලි වලට කැඩී යනවා…ගිනි දැල් සමඟ මේ මහා පෘතුවිය එකවර පුපුරා ධූලි වලාවක් බවට පත්වෙනවා…එයින් සියල්ල අවසාන වෙනවා….සියළු සංස්කාරයෝද මෙපරිද්දෙනි…අස්ථීරය…සහනයක් නැත…අවබෝධයෙන්ම කළ කිරෙන්න…නො ඇලී සිටින්න…මිදීම ලබන්න….”. (සත් වැනි සූර්යයා ) ( විදු ඇසින් – විශ්වයේ මහා නෙබියුලා තුල තාරකා, ග්‍රහ ලෝක බිලියන ගණනක් මෙලෙස පුපුරා යයි…ධූලි වලා බවට පත්වෙයි…අනතුරුව වර්ෂ බිලියන ගණනක් යන විට යළිත් එහි වායූන් එකිනෙක හා ප්‍රතික්‍රියා කොට පදාර්ථයෙන් යුත් නව තාරකා, ග්‍රහ ලෝක බිහිවෙයි…යළිත් කල් යත්ම ජීවය හට ගනී….ක්‍රමයෙන් විනාශය කරා ළංවෙයි…මෙය විශ්වය පිළිබඳ “යළි යළිත් හට ගැන්මේ සිද්ධාන්තය හෙවත්”Reformation theory of the Universe” වේ…බුදු දහමේ සංසාර චක්‍රයෙහි ඉපදීමේ සිට මරණය තෙක් ක්‍රියාදාමය නිමක් නොමැතිව යළි යළිත් ඇති වෙමින්, නැසෙන්නා සේම විශ්වයද එලෙසම වේ )
ඔබට තවත් විස්තර කර දිය යුතු නැතැයි සිතමි….
…ලිපියෙහි අරමුණ…..
ඉහත සඳහන් බිහිසුණු විනාශය 2012 දී අනිවාර්යෙන්ම එළැඹෙතැයි කීම මගේ අරමුණ නොවේ…එමෙන්ම “මායන්” වරුන්ගේ හෝ “නාසා” වරුන්ගේ මතය බුදු දහම ලවා සනාථ කරවීමක් කිරීමද මගේ අරමුණ නොවේ….එනිසා නුදුරේදී එළඹෙන මහා විනාශයක් ගැන විග්‍රහයක් ලෙස මේ ලිපිය නොගන්නා ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි…
නමුත් මගේ අරමුණ වන්නේ බුදු ඇසින් කල්ප විනාශය කෙතරම් ලොමු ඩැහැ ගන්නා තරම් විද්‍යාත්මක දැයි ඔබ සැමට වටහා දීමය…එය 2012 සිදු වුණා හෝ නොවුණා සංසාරයේ ඝෝර බව වටහා ගැනීමට ඉහත කී බුදු ඇසින් සහ විදු ඇසින් දුටු කරුණු ප්‍රමාණවත් යැයි කල්පනා කළෙමි….
ඔබත්, මාත්, අප ජීවත් වෙන පරිසරයත්, අප විසින් ගොඩ නඟා ගත් යමක් වේ නම් ඒ දේවලුත් කෙතරම් කුඩාද? පංච මහා භූතයන් සතු ශක්තිය කෙතරම් විශාලද?….විශ්වයෙහි “මහා” යැයි සම්මත දේ “අසුරක් ගසන සැණකින්” ගිනි ගෙන අළු වී සුන් වී යා හැකි නොවේද?….ඔබත්, මාත් ලබා ගත් ජයග්‍රහණයන් සැබැවින්ම “ජයග්‍රහණද?” ඒවායේ කල් පැවැත්ම කෙබඳුද?….
තථාගත දේශනාවෙහි ඇති දේ අනිවාර්යෙන්ම සිදු වන්නේය…මේ දේවල් 21-12-2012 දින සිදු නොවුනත් කවදා හෝ අනිවාර්යෙන්ම සිදු විය හැක… ඇතැම් විටක ඒවා 2012 දීම සිදු වීමටද ඉඩ කඩ බෙහෙවින්ම ඇති බව දැන් ඔබට පෙනී යනු ඇත…වන්නාව! මේ “හිරු හැව ඇරීම” 2012 දී හෝ වේවා ඉන් මතු මත්තේ හෝ වේවා සිදු වන්නේ නම්, ඔබ සැමගේම :
“”ගොවි ගම-කරාව කම්, උඩරට-පහත රට කම්, සිංහළ-දෙමළ කම්, ඊශ්‍රායෙලි-පලස්තීන කම්, ඇමරිකානු-රුසියානු කම්, ඉන්දීය-පාකිස්ථාන කම්, චීන-තායිවාන කම්, යුදෙව්-ආර්ය කම්, උගත්-නූගත් කම්, වත් පොහොසත් කම්”
කෙතරම් කුඩාද? කෙතරම් ගිණිය නොහැකි සේ ක්ෂුද්‍ර දැයි වටහා ගන්නට ඉහත අඩංගු කරුණු කාරණා ප්‍රයෝජනයට ගන්න….
බුදු මඟ යන ඔබටද, ලෝකයේ සිවුපා, අපා, දෙපා, බුහුපා සියල්ලන්ටද, හෙටත් අරුණාලෝකය රැගෙන කවීන් දුටු සොඳුරු හිරු පායා ඒවා…..!!!!
“සප්ත වර්‍ණ හිරු කිරණින් සප්තස්වර රැව් දේවා….සප්ත ගිරින් හිරු එනවිට මුලු ලොව ගීයක් වේවා”…….
( මගේ දිවි මඟ වෙනස් කළ අනාගාමී “අජාන් බ්‍රහ්මවංසෝ” නා හිමියන්ගේ පාද මූලයෙහි පියුමක් ලෙසද, සදා වෙනස් වන විශ්වයෙහි සරන, නොවෙනස් එකම ආදරය ඇති මගේ මෑණියන්ගේ සිරසෙහි කිරුළක් ලෙසද මේ ලියවිල්ල තබමි )